Thursday, April 21, 2011

නොමැතිව ඔබ ළඟ......


දහසක් තරුකැට තිබුනත් අහසට.,
කුමටද සද නැතිනම් රෑ අහසක්...
දහසක් රළ පෙල තිබුනත් කුමටද.,
නැතිනම් සයුරට වැලි තලයක්...
දහසක් තුරුගොමු තිබුනත් කුමටද.,
නැතිනම් ඵලබර එකදු ගසක්...
තිබුනත් කුමටද මේ හැම මා හට
නොමැතිව ඔබ ළඟ එක මොහොතක්....

මාඩා කාලෙකට කලින් මූණු පොතට දාපු කවියක් මේක, අම්බලමටත් දාන්න හිතුනා.......


අදහස් කුරුටු ගාලා යන්න අමතක කරන්න එපා.......

Tuesday, April 19, 2011

සන්නාලියනේ... සන්නාලියනේ.... (rap version)

ඔන්න ඉතිං මාඩාගේ මුල්ම කතාව....

ඔය හැමෝම වගේ මේ මාඩාත් දෙයියයනේ කියලා ඉස්කෝලේ ගියානේ.... ආයි මොනවද අවු.13 ම එකම ඉස්කෝලේ තමයි.... ඒකත් mix එකක්... 
දන්නෝ දනිති නේ ඒ වගේ පාසල් වල තියෙන ආතල් එක.... ;)


මෙන්න කතාව...

මාඩා එතකොට 8 වසරේ... ඔය කාලේ තමයි rap කියන පිස්සුව ආවේ... අපෙත් ඉතිං නරක වයසනේ ඕන කුණු ගොඩාක් දෝත බදා පිළිගෙන කලා බීලා රේ... කාලෙනේ..... අපි පුංචි උනත් අපිටත් හිටියා band එකක්... super seven තමයි නම වූනේ...
හත් දෙනාම සූපර් තමයි...
ලී කැලි දෙකක් ගානට කපාගෙන කවකටු පෙට්ටි, ප්ලාස්ටික් 15cm අඩිරූල, හතර වටේ තිබුණු ඩෙස් දෙක තුනක් සෙට් කරගෙන drum set එකක් තනියෙන් හදාගත් ජනිත්, ‍ඩෙස් එකේ ඇදපු octapad එක වාදනය කප මාඩාත් :D, ඩෙස් එකේ key board එකක් ඇදගෙන වාදනය කර ගයාන්, බෙස්, රිදම්, කටින් ගැසු හෂාන්, චන්දිමාල් වගේම නියාමක ගායන ශිල්පී වගේම ලීඩ් ගිටාර් ගැසු චාරිකත්.. කණ්ඩායමේ නායක, ගීත රචක, නිවේදක හා ගායන ශිල්පි දිනූෂත් තමයි මේ සෙට් එක...

ඉතිං අපි සංගීත තණ්ඩායමේ දියුණුව තකා අලුත් ඉසව් සොයන තාලේ... නැගලා යන රැල්ල වුනේ rap, පොඩි කාලේ, වස් දොස් යන්නට වගේම සංගීත් අනාගත්ත රඟහල සිංදුවත් ඔය කාලේ තිබුනා... මේ වගේ සිංදු ඇහෙන කොට අපිත් හිතුවා අපිත් rap වෙන්න ඔනේ කියලා.... කොහොම කොහොම හරි කට්ටිය සාකච්ජා ගණනාවක් කරලා තීරණයකට ආවා... කවුරුත් නොකරපු ගීයක් ඒත් රසියකන්ට (රසිකයන් කියන්නේ ඉතිං පන්තියේ ළමයි 50 තමයි) අඩුම තරමේ වසරක්වත් මතක හිටින ගීතයක් කරලියට ගේන්න...

ඔන්න ඉතිං අපි වෙනස කරනවා කියපු දවස ආවා, ඒත් කෝ අපිට සිංදු..???? කලින් කතා කරගත් විදියට පරණ එකක් ගන්නත් බෑ.... සෙට් එකට දැන් මාරම අවුල... පංතියට ලොරි ටෝක් හලපු නිසා මඩ පාරත් ලාවට එනවා....

අපේ පංතිභාර හිටියේ සමරනායක කියලා සිංහල කරන සර් කෙනෙක්., ජාතිකත්වය උපරිමයි, ආයු‍බෝවන්, සුභ උදෑසනක්, ස්තුතියි වගේ වචන තමා පාවිච්චිය. ඉතිං වෙනස කරන දවසෙත් මේ සර් උදේ පීලියඩ් එකේ වැඩ ටික කරා.... පාඩම සන්නාලියනේ දන්නවා ඇතිනේ අමරදේවයණ්ගේ ගීතය.... මෙන්න අපේ කොල්ලෝ ටිකට දෙයියෝ දුන්නා වගේ සිංදුවක් සෙට් වුණා.. කවුරුත් මීට කලින් rap කරලත් නෑ... අනිවා අවුරුද්දක් මතක තියා ගන්න ඕනේ (වසර අවසාන විභාගේට ඕනෙනේ) අපේ සෙට් එක දැන් නිවන් ගියා වගේ...

අපි කලින් සැලසුම් කරන් ඉදපු විදියට 3 වෙනි පීලියඩ් එකේ P.T. යන්නැතුව පංතියෙම ඉදන් වැඩේ පටන් ගත්තා... super seven සෙට් එකෙන් හිටිය මල්කාරයෝ දෙතුන් දෙනෙක් තම තමන්ගේ සමනළියන්ට ආරාධනා කරලා ඒ අයත් සැපත් වෙලා තිබුනේ.. පාට පාට සෙලෝපේන් කොල කණ්නාඩි කැලි එකතු කර‍ලා ඉර එළියෙන් වැඩ කරන ඩිස්කෝ, ස්පොට් ලයිට් එහෙමත් සෙට් කරන් ඕන් දැන් වැඩේ පටාන් ගත්තා...

සුපුරුදු ගීත දෙක තුනකින් පස්සේ අපේ Rap එළියට දැම්මා....
දිනුෂ - හොදයි... එසේනම්... ඔබ මෙතෙක් පුල පුලා බලාසිටි වෙනස ‍ඔබ ඉදිරියේ දිගහරින්ටයි මේ සුදානම...
කණ්ඩායමේ එකමුතුකම මඟින් ගොඩනැඟුණු මෙම වෙනස......
මේ විදියට ලොකු නයෙක් එහෙම යවලා පටන් ගත්තා......



සන්නාලියනේ... සන්නාලියනේ...
මේ හිමිදිරි උදයේ..... 
සන්තොසෙන් ඔබ හිනැහි හිනැහි
කාටද ඇදුම වියන්නේ 



ඔන්න ඔය විදියට සිංදුව අන්තිම පද ටික වෙකම්ම නැගලා ගියා...... ඒත්.... එකපාරටම.......
හිටපිය ඔහෝම වල් නරියෝ ටික.... දඩාස්.... දඩාස්...... 
ලොකු සයිස් අච්චු පොත් දෙක තුනක් කන ගාවින් කීං ගාගෙන ගියා... නිකන් සංගීතේට බෝම්බ ගහනවා වගේ... මල් වත්තේ පීනන්න ඇවිත් හිටපු සමනළියෝ ටිකයි පිටින් ආපු බෝක්කේ කොල්ලෝ සෙට් එකයි පැදුරටත් නොකියා මාරු.... අපේ පංතියේ උන්ගේ අත්වලට කොහෙන්දෝ මන්දා අච්චු පොත්.... තව ටිකකින් රහත් වෙයි කියන තරමට මුන් මේ තත්පර ගානට පොතට සමාධිගත වෙලා..... අන්තිමේ super seven ලාගේ ෂෝ එක කවුරුත් දැකලවත් නැ.... අපි 7 විතරයි ආතල් අරන් තියෙන්නේ බැලුවාම.... අපිත් පූස් පැටව් වගේ හිමීට පුටු වලට මාරු වුනා......
කියන්න අමතක වුනානේ අපේ සිංහල පුරුෂයා තමයි වැඩම කරලා තියෙන්නේ පංති භාර සර්....
කොහොමද උදේ කරපු කාව්‍ය විචාරය rap වෙලා ඇහෙනකොට..... මොනව වුනත් සර් හොද මිනිහා... ලොකු දඩුවම් නම් දුන්නේ නෑ ගෙදරින් එක්ක වර කියලා... හත් දෙනාගේ කන පොඩ්ඩක් කරකවලා, ආදරේට පුංචි ටොක්කක් ඇනලා.... සන්නාලියනේ ගීතය 50 පාරක් රචනා කරන් එන්න කිව්වා........ අනේ වාසනාවන් ඔයින් ගිය එක......

අදහස් කුරුටු ගාලා යන්න අමතක කරන්න එපා.......

Thursday, April 14, 2011

ඇරඹුම....

මම මාඩා,
2011 සිංහල අලුත් අවුරුදු දවසේ blog එකක් මේ විදියට පටන් ගන්නවා..
මුලින්ම...‍
ටිකක් හිනා වෙන අභීත අයියත්, ගෝල්ඩ් fish ගේ ටැංකියේ පීනන Prasanna ත්, හසිගේ සිතුවිලි අතරේ දඟලන හෂිකත්, පාලමෙන් මෙහා එකෙක් වුනු දැන් පේන්න නැති රත්ගමයා ත් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ.....
මොකද මේ blog කරුවන් ගේ නිර්මාණ දැකල තමයි මට ලියන්න හිතුනේ...
ඒත් ම‍ට ලියන්න පුලුවන්ද කියලා මම දන් නෑ..... දෙයියනේ කියලා දන්න සිංහල අකුරු ටික ගලපන්න හිතන්  ඉන්නවා.. මොනවගේ දේවල් මගේ අතින් ලියවේයි ද කියල නම් මම දන්නෑ.... මොකද තාම එහෙම දෙයක් හිතලවත් නැති නිසා....

අම්බලම කියන්නේ ඒකයි....
විවිධ තරාතිරමේ අය එනවා කිසිම තහනමක් නෑ...
මහන්සි නිවාගෙන.. හිතේ තියෙන දේ කුරුටු ගාලා යනවා.......

මේකත් ඒවගේ වෙයි.... ඒක ඒක දේවල්, පුංචි පුංචි දේවල් ලියවෙයි..........
සාර්ථකත්ව‍යේ මිම්ම තියෙන්නේ ඔයාලගේ අතේ....
පුංචි comment එකක් දාන්න මාඩා ගේ අම්බලම ගැන........