Saturday, December 7, 2013

මේක ආදර කතාවක්_#1 (මම යාලුවෙක් කතා කරන්නේ..)



ජිවිතේ සුන්දර කාලය වුනු පාසල් කාලේ පහුවෙලා සමහර නැතිවීම් එක්ක අලුත් පරිච්චේදයක් පටන් ගන්න කොට මගේ ජීවිතේට පුංචිම පුංචි සිකුරු තරුවක් පැව්වේ මම හිතුවෙවත් නැති විදියට... කොලුකමට හොයාගත්ත නම්බර් එකකට දීපු මිස් කෝල් එකකින් පටන් ගන්න තවත් එක් කතාවක් වුනු ඒක පුදුම විදියට මගේ ජිවිත පොතේ අලුතින් කතාවක් ලියන ගමන් තිබුනු සමහර පරණ හිස්තැන් පිරෙව්වේ හාස්කමකින් වගේ. නුහුරු කටහඩක් නුහුරු රූපයක් වුනත් මොකක්දෝ මන්දා හුරුපුරුදුකමක් අපේ හිත් අපිටත් හොරා අදුරගෙන දෛවය වෙලාවත් එක්ක ගැලපෙනකන් බලන්හිටියා... මිතුරුකමත් සහෝදරකමත් ආදී වශයෙන් එක එක අවදි පහුකරන ගමන් ආදරය කියන පුංචි පැලයත් දෛවයට වෙලාව එනකන් හිත් අස්සේ හැංගිලා හිටියේ කාටවත් නොදැනෙන විදියට.... ඒත් හැම නමකටම අරුතක් තිබුනත් මගේ ජීවිතේට අරුතක් වුන මේ ආදරේට කියන්න නමක් මට තාම හිතාගන්න බෑ... 
ඉතිං කොහෙම වුනත් මේක ආදර කතාවක්........



2006_

ඕලෙවල් කරලා ඉවර වුනා විතරයි... හිතට දැනෙන්නේ පුදුම නිදහසක් ඒත් ඒ නිදහස අස්සේ වැඩි ඇතක් යන්නැතුව පුපුරන කාල බෝම්බයක් තියෙනවා කියලා දැනෙනකොට.... හ්ම්...... පපුව ඇතුලේ හාල්මැස්සෝ බාබකිව් දානවා වගේ...... යන්තන් මුල්ම මාසේ අතිජාතයෝ දෙන්නත් එක්ක ට්‍රිපක් එහෙම ගිහින් ඇගපත ටිකක් රිලැක්ස් කර ගත්තා.. මොකද එක්සෑම් කාලවලට වැඩියෙන් නින්ද යන ලෙඩේ මට ගොඩක් තදට තියෙන නිසා... දැන් ගෙදර... ඒත් වැඩි දවසක් යන්න කලින් එක ඇණයක් වෙන්න ගත්තා.. අර පන්තියෙනුයි අර කොස් එකෙනුයි එකයි මෙකයි කිය කිය ලිවුම් එවලා ගෙදර මිනිස්සු අවුස්සන්න ගත්තාම ගෙදර ඉන්න එක එපා වෙනවා.. කොහොම හරි මොකක්දො මන්දා එකක් කරකැවිලා මම කොලඹ ඉංග්‍රීසි කෝස් එකකට යන්න ඕනේ කියලා ගෙදරින් මට නියෝග ආවා.. අභියාචනා ඔක්කෝම පහල අධිකරණයෙදිම එළියට විසිවෙලා මට කොළඹ ක්ලාස් යන්න වුනා ඒත් පොඩි එකෙක් වුන මගේ ආරක්ෂාවට තාත්තාගේ පරණ ෆෝන් එක වැදගත් කියන මතේ මම තදින්ම හිටපු නිසා කොහොම හරි ඒක කරගත්තා... පන්ති තියෙන්නේ ඉරිදා, ඇතුලත්වීමේ විභාගයක් සෙනසුරාදා තියෙන නිසා සිකුරාදා කලින් කතා කරගත්ත නෑදෑ ගෙදරට ගියා.. පාන් කියාගන්න බැරුව ඒ ගෙදරට යද්දි අපේ මව්තුමීගේ සහෝදරිය ඒ කියන්නේ ලොකු අම්මා, පුත්‍රරත්නයත් එක්ක එහෙ ඇවිත් හිටියා.. නාලා කාලා නිදාගන්න ගිහින් සෑහෙන්න කාලෙකින් දැකපු බ්‍රදර් එක්ක චැටක් දාගෙන ඉන්න කොට කවුරු හරි මිස් කොල් වලින් බයිට් කරන්න පුංචි ආසාවක් ආවා... 

ම- අඩෝ නැද්ද බං නම්බර් එකක්?

බ්‍ර- ඒ මොකටද බං..

ම- මිස් කොල් එකක් ගහල නැගිටලද බලන්න බං..

බ්‍ර- ඉදපන් එහෙනම් බලන්න.... ආ මේක බලපන්... හැබැයි තෝ නිකමටවත් කතා කරලා මගේ නම කියන්න නම් එපා පුතෝ.. මේ අම්මාගේ ක්ලාස් එකට එන අම්මගේ යාලුවෙක්ගේ දුවෙක්ගේ.. අපේ වයසේ මගේ හොද ෆිට් එකක්.. උඹ මාව කන්නනම් එපා හොදද... ෆෝන් එක ගෙදර එක හොදට බැනුම් අහපන් පුලුවන්නම්...

ම- හරි හරි මචෝ... එල එල... බලමු නැගිටලද කියලා..

ඔන්න ඉතිං මිස් කොල් දෙකක් විතර ගැහුවා.. මෙන්න තව එකක් ගැහුවා විතරයි ආන්සර් කරා.. 

 


කෙ- හෙලෝ.......

මලා..... මොනවා කරන්නද මිස් කොල් ගහන්න ගිහින් 9ක්ම කපා ගත්ත එකේ කතා නොකරොත් හොද නෑනේ...

ම- ආ හෙලෝ... මොකද කරන්නේ, නිදි ද?

කෙ- මොකක්? කව්ද කතා කරනේ.. කාටද කතා කරන්න ඕනේ??

ම- මම මේ යාලුවෙක් කතා කරන්නේ..

කෙ- මට නම නොකියන යාලුවෝ නෑ..

දඩාස්...

කොච්චර සුන්දර කට හඩක් තියෙන කෙල්ලෙක් වුනත් සද්දෙට ෆෝන් එක තිබ්බාම මගේ හිතට එන්නේ “හා එහෙමද නංගි“ වගේ සිතුවිල්ලක්... ඉතිං එදා රෑ එළිවෙද්දි මිස්කෝල් 50 ක් විතර ඒ අංකෙට යවන්න මම දෙපාරක් හිතුවේ නෑ.. 

රෑ පුරා මිස්කෝල් මෙහෙයුමක් කරලා මරන්න ගෙනියන හරකා වගේ උදේ පාන්දර 10ට මම එක්සෑම් එකට ගියා.. පැය දෙකක විතර මොනවද මංදා කුරුටු ගාලා සල්ලි එහෙම ගෙවලා ආපහු ගෙදර එන්න පිටත් වුනා... 

බස් එකට නැගලා වාඩි වෙලා නින්දක් දාන්න හදද්දි ආඩම්බර මිස්කෝල් නෝනව ආපහු මතක් වුනා.. ඉතිං ආපහු ගත්තා.. මිස් කෝල් එකක් නෙවෙයි කෝල් එකක්... හ්ම්..... නෑ... ආන්සර් කරන්නෑ.. කමක් නෑ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කිව්වලුනේ... තව තුන් හතර පාරක් ගත්තා... අන්තිමේ ආන්සර් කරා...

කෙ- මොකද... කව්ද ඔය කතා කරන්නේ.. ඇයි මිස්කෝල ගහන්නේ....

කන ගාව මිරිස් බදිනවා වගේ... :D

ම- මේ මම කතා කරන්නේ අදුරගන්න බැරිද...

කෙ- අදුරගන්න පුලුවන්නම් කව්ද අහන්නෑනේ... 

ම- මම යාලුවෙක් කතා කරන්නේ..

කෙ- මම ඔයා අදුරන්නෑ, කොහෙන්ද ඔයාට නම්බර් එක... ආයි කතා කරන්න එපා මේ නම්බර් එකට... 

ම- හරි හරි ඉස්සරහට දැන අදුරගෙන යාලුකමක් හදාගනිමු... 

කෙ- විකාර....

දඩාස්...

අදත් ඊයේ වගේ දරුණු ප්‍රතිචාර... කමක් නෑ බලමුකෝ හෙට... තව මිස් කෝල් 10/12 ගහලා ෂීට් එකේ හරිබරි ගැහුනේ ගෙදරට එනකන් නින්දේ ඇරියස් කවර් කරන්න....


 _ _
 මේ ආරම්භය විතරයි.. හිත ඇතුලේ අකුරු වලට ගලපන්න බැරි, කියාගන්න බැරි මොකක්දෝ මන්දා අමුතු හිරියක් තිබුනත් ඒක ආදරයක් නෙවෙයි, වයසේ වැරැද්දට කොලු කමට මිස් කෝල් එකක් ගහලා ආඩම්බර කෙල්ලෙක් ටිකක් කෙන්ති ගැස්සුවා...  

ජීවිතේ ගොඩක් කල් අපිත් එක්ක පවතින බැදීම් ඇති වෙන්නෙ අහම්බෙන් අපි බලාපොරොත්තු වෙන්නැති වෙලාවට. සමහර ඒවා සංසාරගත බැදීම් වෙනවා, තවත් ඒවා සංසාරගත බැදීමකට මුල පුරන ඒවා වෙනවා. මේ මොක වුනත් ඒ දේ මුණගැහෙනකම් අපි දන්නෑ කොහොම කොහෙදි මුණගැහෙවිද කියලා.... 

Wednesday, September 11, 2013

කෙල්ලන්ගේ ගල් හිත් බිදින හැටි..... අත්දුටුවයි..!!

ජිවිතේ ගලාගෙන යන්නේ අපි කාටවත් වෙනස් කරන්න බැරි වේගයකින්, අලුත් රටකට අලුත් පරිසරේකට ඇවිත් අදට මාස 4ක් ගතවුනා.. අලුත් අත්දැකීම් එක්ක අලුත් ජිවිතයක්... කරත්ත රෝදයක් වගේ හැමදාම එකම විදියට ගෙවුන මාස 4ක්... පරණ මතක මතක් කර කර ජිවිතේ ගත කරන කාලයක් මේක.. හිතට ටිකක් හරි සැනසිල්ලක් දැනෙන්නේ එතකොට.... පරණ මතක අලුත් කරන කොට මතක් වුන සුන්දර පාසල් මතකයක් මේ...

_ _ _

මාඩා අවුරුදු 13ක්ම ගැටුවේ මිශ්‍ර පාසලකට, ඒ නිසා වැඩිය මහන්සි නොවී අපේ වත්තේ කජු අපිටම කන්න පුලුවන් කම තිබුනා. පන්තියකටම 20 ක් විතර ඉන්නවා කියන්නේ 5/2 ක්නේ... ඉතිං මේ කතාව වත්තේ කජු කන්න මහන්සි වුන අපේ එකෙක් ගැන, නම කියන්න ගියොත් වැඩේ අල වෙන නිසා අපි වික්‍රම කියලා කියමු ලේසියටත් එක්ක...

වික්‍රම පොඩි කාලේ ඉදන්ම මගේ යාලුවෙක්... මතක හැටියට මූ එක ඉදන් පහ වසර වෙනකන් මගේ පන්තියේ... ඊට පස්සේ අපි එක පන්තියකට වැටුනේ 10/11 තමයි... ඔන්න ඔය සාපෙ කාලෙදි මූට පන්තියේ හිටපු කජු කෑල්ලක් සෙට් කරගන්න ලොකු ඕන කමක් තිබුනා, ඒත් ඒ වෙද්දිත් මූට 8/9 පංති වල හීනියට කජු වගාවක් නොතිබුනාම නෙවෙයි... එත් කොහොම හරි මේ කොල්ල පංතියේ කෙල්ලෙක්ට ට්‍රයි කරා.. යාලුවෝ විදියට මායි පවනුයි (මේ බොක්ක ගැනත් කියන්න දේවල් තියෙනවා) පුලුවන් උපරිම හෙල්ප් එක කරා.. උගේ ලියුම් කීයක් අපි ගාව තිබුනද, ඌට කවි මතක නැති වුනාම කොච්චර පත්තර පිටු හෙව්වද, මූට වීරයා වෙන්න පුලුවන් විදියේ තිර රචනා කරලා දෙබස් හදලා දුන්නද, අපි වුනත් නාට්ටි කීයක රග පෑවද, කජු වතු මැනේජ් කරන්න කෙච්චර උපදෙස් දුන්නද... වැදගත්ම දේ උපන්දින, සංවත්සර වගේ පලදාව කඩන දවස් වලට මූට හම්බෙන චොකලට්, කේක් වගේ ගෙදර ගෙනියන්න අමාරු දේවල් අපි නෑ බෑ නොකිය අපේ බඩට දාගත්තද.. ඉතිං මේ වගේ උදව් කරන යාලුවෝ ඉන්නකොට පංතියෙම හිටපු කෑල්ල සෙට් නොවුන එක අපිටත් හිතට මොකක්ද වගේ... මොනවා උනත් සෙට් උනොත් තව පාටියක්නේ...  ඉතිං අපිත් මේ වැඩේ ගොඩ දාන්න පූර්ණ අධීක්ෂණයක් කරා.. පරණ ක්‍රම අතඇරලා අලුත් දෙයක අවශ්‍යතාව අපිට තේරුනා.... සරලව කිව්වොතින්...

ලේ දැක්කාම කෙල්ලන් තුල එදා ඉදන්ම ඇතිවන කම්පනය යොදාගෙන ඒ කම්පනයේ ප්‍රභලතාවයෙන් ගල් හිත උණු කිරීම....

පවන් අල්ලපු පන්තියේ හිටපු නිසා මට වැඩි අවස්ථාවක් ආවා ආදාල සැලසුමට නියමිත පරිසරය ගැන සැලකිල්ලෙන් ගතකරන්න.. ඔන්න ඉතිං දවස් දෙක තුනක් ගියා.. හ්ම්... තාම නෑ.. පුරුදු විදියමයි.. චූටි චූටි චිට් කෑලි වික්‍රම යවනවා ඒත් වෙනසක් නෑ... ඇලුමැරුණු විදියට තවත් දවස් දෙක තුනක් ගියා...

එත් එක දවසක්..... මම කොහෙ හරි ගිහින් පන්තියට ආවා.. අම්මා ගහයි බැට් එකෙන් තුන් පාරක් කිව්වලු වික්‍රම සිරාම මූඩ් එකක් හදා ගෙන  කාගෙද මන්දා වතුර බෝතලයකුත් ලග තියා ගෙන අක්මාවෙන්ම ටොක් කරනවා, කෙල්ලත් සද්ද නෑ..මම හිතන්නේ මූ සැහෙන්න වෙලා ගේම ගහලා වගේ ඒ තරමටම දාඩිය දාලා... මටත් අප්සට් අපේ එකෙක්නේ... ඔන්න ඒ වෙලාවෙම මගේ ටිංකිරි මොලේට මීටර් උනා මේක තමයි මෙච්චර දවසක් හෙව්ව රූප රාමුවට ගැලපෙන පරිසරය කියලා.. මම පන්තියේ හිටියෙ නැති නිසා කලින් කතා කරලා කරපු එකක් කියලා කෙල්ලට පෙන්නෙත් නෑ, අරූ හිතන්නෙත් නෑ මේ වෙලාවෙදි රගපෑමක් තියෙනවා කියලා.. ඉතිං රූප රාමු ටික තාත්විකව ෂූට් කරන්න පුලුවන් කියන එක ෂූ‍වර් එකටම හරි..

දැන් ඉතිං මගේ වාරේ.. දෙබස් ටික.... හ්ම්..... හරි මතකයි... ඊළගට ප්‍රධාන අවිය.. කෝ ඒක... මේ තියෙන්නේ බිත්ති පුවත් පත කියලා ගහපු බෝඩ් කෑල්ල විතරක් තියෙන රිජිෆෝම් එකේ... ගත්තා භාණ්ඩේ... පූංචි ඇල්පෙනෙත්තක්....  හරි දැන් මාඩා රෙඩි... යාලුවා වෙනුවෙන් ගෙමට එන්ටර් වෙන්න හදන්නේ.....

ඇක්ෂන්.......

(මාඩා වික්‍රම හා කජු ගෙඩිය සමීපයට යයි)

මඩා- මොකෝ බං වික්‍රම අවුලක්ද?

වික්‍රම- නෑ බං මාඩා.. අවුලක් නෑ...

මාඩා- මොකෝ බං එහෙනම් මුණ හතරැස් කරගෙන, ඇයි කජු ගෙඩිය කේස් ද තාම?? මොනවද කජු මූ හොද එකානේ බං.. ඔච්චර ගන්න උස්සන්නේ මොකද? 

කජු- ගනන් නෙවෙයි මාඩා ඒ වුනාට..............

මාඩා- ඇයි උඹට මූව ෂුවර් නැද්ද??

කජූ- හ්ම්................

මාඩා- හරි ඉදපන්... ඒ වික්‍රම කියපන් උඹ මේකිට ගොඩාක් ආදරේද??

වික්‍රම- ඔව් බොල, නැත්තන් මෙච්චර කියනවද?

මඩා- හරි එහෙනම් උඹ මේකි වෙනුවෙන් ඕන දුකක් විදිනවද?? 

වික්‍රම- ඕක අහන්නත් දෙයක්ද මාඩෝ... එත් කෝ මෙයා තාම නෑනේ.... හ්ම්...

මාඩා- හරි දියන් අත.... කජු බලා ගනින් මෙන්න මෙහෙමයි මූ උඹට ආදරේ කරන්නේ, උඹ වෙනුවෙන් මූ ඕන දුකක් විදින සිරා පපුවක් තියෙන සුපිරි කොල්ලෙක්.. උඹට ආයි හිතන්න දෙයක් නෑ මූ ගැන.. ඔන්න බලපන්...

වික්‍රම- ආව්.............................................................

(මාඩා විසින් වික්‍රමගේ මැදගිල්ල සිදුරු කරයි...)

නාට්‍ය පිටපත ඉවරයි... 

ඔන්න දැන් තමයි හොදම හරිය... ප්‍රේක්ෂක ප්‍රතිචාර...

වික්‍රමත් ගානට එක පාරක් ආව්............... ගාලා එලියට එන ලේ දිහා බලාගෙන හිටියා... කජු හොල්මන් වෙලා... වටේ පිටේ කෙල්ලෝ අනේ මාඩා මොනවද මේ කරේ කියලා කෑ ගහනවා, කොල්ලෝ ටික හිනා වෙවි බලං ඉන්නවා.. සමහරු ලේ ඉල්ලනවා උන්ගේ කෙල්ලොන්ට ලියුම් ලියන්න එක විකාරයයි එතන...

ඒත් තාම ඕනම කරන දේ වුනේ නෑ.. මාඩා බලං ඉන්නේ හිත උණු වෙන සීන් එක එනකන්.. ඉක්මණට ආවොත් හොදයි... මොකද තව ටිකකින් ලේ නවතින නිසා...

හරි හරි... වැඩේ හරි... කජු ගෙඩියෙන් කදුලු දෙකක් වැටුනා... දෙක තුන වුනා... අරූගේ ඇගිල්ල ඇදලා ගත්තා... (නෑ කටේ දාගත්තේ නෑ) කජුගේ ලේන්සුවෙන් ඇගිල්ල බැන්දා... ආව්........... රොමැ..................න්ටික් අවස්ථාව..... කට්ටිය මට බනින ඒවා ඇහෙන්නෙත් නෑ... ඒ තරම් ප්‍රේමණියයි.......... කදුලු වැටි වැටි කජු අරුගේ අත බදිනවා... අරුත් කජූගේ මූණ දිහාම බලන් ඉන්නවා....

සතියක් ඇතුලත වික්‍රමට කජූගේ වචනය හම්බුනා...




ප.ලි. සමහරවිට මේ සිද්දිය මෝඩ, බොළද වැඩක් කියලා පේන්න පුලුවන්.. ඔව් මෝඩ වැඩක් නම් තමයි.. ඒත් අපි එතකොට සපෙ කරන කාලේ.. කිසිම දෙයක බරපතලකමක් නෑ... ඒත් මතක් කරලා හිනා වෙන්නවත් පුලුවන් මතක ගොඩක් ඉතුරුවෙන්නේ අපි කරන මෝඩ වැඩ එක්කයි...

Monday, July 29, 2013

අලුත් පසක්...


 
මාඩාගේ ගෙවිලා ගිය ජීවිතේ වෙනසක් වෙලා දැන් ටිකක් කල් වෙනවා.. ලංකා දූපතෙන් පිටත් වෙලා කාන්තාරේ ලැගුම් ගත්තේ හිතේ තියෙන දහසකුත් හීන වලින් එකක් දෙකක් වත් හැබෑ කරගන්න පොඩි උත්සහයක් ගන්න.. කාලා බීලා ඇදලා කරලා හිටියට හීන හැබෑ කරගන්න එක ලංකාවෙදි දැන්ම කරන්න අමාරුයි කියන එක මාඩාට හිතුනා...

ඉතිං මෙන්න දැන් මාඩා කාන්තාරේ.......



ඇවිත් තාම මාස 2 දවස් ගානක් වෙන්නේ... ඉතිං ඔය විදියට මම ජීවිතේ අලුත් පිටුවක් පෙරලුවා.. අලුත් මිනිස්සු, අලුත් පරිසරය හැම දේම මට අලුත්.. ඒත් ලංකාව මතක් වෙන්නැති වෙලාවකට තියෙන්නේ නහුතෙට වැඩ සෙට් වෙන වෙලාව තමයි... නැත්තන් හැමවෙලේම ලංකාව මතක්වෙනවා... කොහොම උනත් අපි ඇවිත් ඉන්නේ වැඩ කරන්න නිසා වැඩ කරන්න එපැයි... දෙයක් ලබා ගන්න නම් කැපකිරීම් කරන්නම වෙනවානේ... නිදහස නම් ටිකක් අඩුයි, නිවාඩු තියෙන්නේ සිකුරාදා විතරයි, අනිත් දවස් 6 යනවට වඩා ගොඩාක්ම ඉක්මණින් සිකුරාදා ගෙවිලා යනවා, පැය 8 වැඩ රාමුවකට කොටු වෙලා උන්නු මට ටික දවසක් ගියා ඒ රාමුවෙන් එලියට එන්න... කොහොම හරි අමාරුවෙන් උනත් ටිකක් කාර්යබහුල රාමුවකට යන්න වෙනවා... දේසේ හැටියට වාසේ කිව්වලුනේ... 



ඉතිං මීට පස්සේ අවුරුදු 2ක් යනකන් මඩා ගේ අම්බලම ලියවෙන්නේ කාන්තාරේ ඉදන් තමයි...

මෙහෙදි ඇහුන පුංචි පුංචි රස කතා ටිකක් තියෙනවා වෙලාවක් ආවාම ඒවාත් දානවා...

Monday, May 13, 2013

එහෙනම් අවසරයි මට..!!

_ _ _ _ _ _ _ _ _

 නෙතට නැගෙන කදුලු බිදු
මුවට නැගෙන සෝක සුසුම්
සිතට දැනෙන පාලු හැගුම්
කෙසේ සගවා සමුදෙන්නද මං නුඹලාට
|

දරුකම, ආදරය, සහෝදරත්වය
හරි හම්බ කරපු දේය මේ කාලෙට මම
උකසට තියා හෙට දවස වෙනුවෙන් එය
යන්නම් එහෙනම් අවසරයි මට
|
අම්මේ තාත්තේ පුංචි පුතුට එහෙනම් සමුදෙන්න
ලොකුය කොල්ල දැන් බෑ උකුලට එන්න
දෙපා නමැද පතනෙමි අවසර මෙන්න
 ගිහින් එන්නම් බුදු සරණයි දෙන්නටම
|

හෙට දවසටත් හිරු පායා ඒවි
මල්ගොමු, මදනල නැවතත් ජීවය දේවි
ළග නැති පාලුව හද රිද්දාවි
නුඹටත් අවසරයි එහෙනම් මම යන්නම්
|

මචං ඉතිං මම යනවා එහෙනම් බං
බදිනවනම් මතක් කරලා බැදපල්ලා
ළග නොසිටියත් අමතක නෑ උඹලා නම්
සෙට් වෙන දවසක කොල් එකක් දීපල්ලා
|

අවසරයි ඉතිං..! 
_ _ _ _ _ _ _ _ _







Monday, April 1, 2013

වැල්ලේ ඇදුනු අපේ අඩි පාරවල්

Camera : OLYMPUS T-110 | Location : Ambalangoda Beach Park

මේ වෙරළෙම අපි දෙන්නා කී දවසක් තනිවෙන්න ඇතිද
මගේ උරහිසේ ඔළුව තියන් ඔයා දවස් කීයක් නිදාගත්තද
ලුණු රස කියලා බලන් නැතුව අපේ දෙතොල් අපිට හොරා කොච්චර ළං වුනාද
ඉමක් නැති මුහුද දිහා බලන් කොච්චර වෙලා ඉන්න ඇත්ද
අඩියෙන් අඩිය තිය තිය පුංචි දුරක් ආවත් තව කොච්චර දුර යන්න හීන මැව්වද
ඒත් ඒ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම....
වැල්ලේ ඇදුනු අපේ අඩි පාරවල් වගේ මැකිලා යද්දි
මගේ හිතට දැනුන තනිකම කියාගන්න කෙනෙක් නැතුව ඒ දුක විදිද්දි
මගේ තනියට තාමත් ඉන්නේ අපේ මතක විතරමයි..
ඉතිං මට කියන්න කොහොමද මම ඒ දෙවල් අමතක කරන්නේ....

Saturday, March 16, 2013

පරතරය


මම නුඹ දිහා බලන් හිටියා
නුඹත් මං දිහා බලං හිටියා

මම හිනා වෙනකොට නුඹත් හිනා වුනා
ඒ හිනාව මගේ කියලා හිතුනා

හිනහෙන ගමන් මට ආලෝකය දුන්න නිසා
නුඹ මගේ ජීවිතය වුනා

නුඹ ගැන පෙරුම් පිරුව නිසා
නුඹට ආදරේ කරා

නුඹ තාමත් මගේ දිහා බලන් ඉන්න නිසා
නුඹ ගැන හීන මැව්වා
බලාපොරොත්තු පොදි බැන්දා

ඒත්............
මට අමතක උනා.....
මම පුංචි තණකොළ පෙත්තෙක්
නුඹ අහසම එළිය කරන සද බව....

 

Monday, March 11, 2013

වැස්ස නුඹ නිසා.....



හදිස්සියේම...... ඊයේ වැස්සා....... හොදටම වැස්සා.... 
මන්දාරමේ එකතු වෙලා තිබුණු වැහි බින්දු මාව හොදටම තෙම්මුවා.... 
මගේ කදුලු අරන් වැහි බින්දු බිමට වැටුනා... 
දැන් මම ආයිමත් හිනා වෙන්න උත්සහ කරනවා...  
හැම දෙයක් දිහාම සුභවාදීව හිතන්න ඒ වැස්සෙන් මම ඉගෙන ගත්තා... 
සමහර ේවල් වෙනස් වෙන්න එක වැස්සක් ඇති...

- - - - - - 



 


ආයිමත්  වහිනවා....
කාලෙකට කලින් මේ වැස්ස මේ විදියටම බිමට වැටුනා
මතකද??
අපේ පුංචි කුඩේ අපිව ගොඩක් දුර අරන් ගියා..
කොච්චර තෙමුනත් ඔයාටයි මටයි ඒ කුඩේ මදි වුනේ නෑ..
හිත පිරිලා ඉතිරෙන්න තරම් ආදරයක් ඒ වෙනකොට
හිත් වල පිරිලා තිබුන නිසා කොච්චර වැස්සත්
අපිට සීතල දැනුනේ නෑ.. මුරුගසං වරුසාව කොච්චර අරියාදු කරත්
ඔයා තුරුල් කර ගත්ත මගේ අතේ බර ඔයාට දැනුනේ නැත්තේ
ආදරේ නිසා කියලා මම දැනුත් හිතනවා...

 ඒත් දැන්..........
මුරුගසං වරුසාවෙදි මගෙන් මිදුන් නැති ඔයාගේ අත, අද ඔයා ගසලා දලා,
වෙනදටත් වඩා මගේ ආදරේ වැඩි වුනත් අපේ පුංචි කුඩේ
දැන් අපිට මදි වෙලා..
ඉස්සර ගොඩක් දුර ගියත් දැන් අඩි දෙකක් තුනක් යන එකත් හීනයක්ම වෙලා,
ඔව් මම තනි වෙලා.... හැමදේම හිතේ තුරුල් කරන් මම තනි වෙලා,
නැතිවෙන්න දෙයක් නැති වුනත් තිබුන ඒ හැමදෙයක්ම මට ගොඩක් වටිනවා..
වැස්ස ගැන කොච්චර ආසාවෙන් එදා කතා කරත්
අද මම වැස්ස නිසාම තනිකම තේරුම් ගන්නවා....
හිතේ තියෙන ආදරේ වැඩි නිසාම ගල්ගැහෙන මේ සීතලේ තෙමෙන ගමන් මම තාමත්
ඒ පරණ කුඩේම හොයනවා... සමහර කුඩ මට සමච්චල් කරනවා,
සමහර ඒවා අනුකම්පා කරනවා....
ඒත් මං තාමත් පරණ කුඩේම හොයනවා.... අපේ කුඩේ තාමත් හොයනවා....


අන්තිමට...... මම තාමත් වෙනදා වගේම මේ වැස්සට ආදරෙයි...
මොකද එදා මට හිනාවෙලා සතුටෙන් ඉන්න වරම් දීපූ මේ වැස්සම,
අද මගේ කදුළු කාටවත් පෙන්නේ නැති වෙන්න ඇස් අද්දරම හෝදලා දාන නිසා....