Saturday, December 7, 2013

මේක ආදර කතාවක්_#1 (මම යාලුවෙක් කතා කරන්නේ..)



ජිවිතේ සුන්දර කාලය වුනු පාසල් කාලේ පහුවෙලා සමහර නැතිවීම් එක්ක අලුත් පරිච්චේදයක් පටන් ගන්න කොට මගේ ජීවිතේට පුංචිම පුංචි සිකුරු තරුවක් පැව්වේ මම හිතුවෙවත් නැති විදියට... කොලුකමට හොයාගත්ත නම්බර් එකකට දීපු මිස් කෝල් එකකින් පටන් ගන්න තවත් එක් කතාවක් වුනු ඒක පුදුම විදියට මගේ ජිවිත පොතේ අලුතින් කතාවක් ලියන ගමන් තිබුනු සමහර පරණ හිස්තැන් පිරෙව්වේ හාස්කමකින් වගේ. නුහුරු කටහඩක් නුහුරු රූපයක් වුනත් මොකක්දෝ මන්දා හුරුපුරුදුකමක් අපේ හිත් අපිටත් හොරා අදුරගෙන දෛවය වෙලාවත් එක්ක ගැලපෙනකන් බලන්හිටියා... මිතුරුකමත් සහෝදරකමත් ආදී වශයෙන් එක එක අවදි පහුකරන ගමන් ආදරය කියන පුංචි පැලයත් දෛවයට වෙලාව එනකන් හිත් අස්සේ හැංගිලා හිටියේ කාටවත් නොදැනෙන විදියට.... ඒත් හැම නමකටම අරුතක් තිබුනත් මගේ ජීවිතේට අරුතක් වුන මේ ආදරේට කියන්න නමක් මට තාම හිතාගන්න බෑ... 
ඉතිං කොහෙම වුනත් මේක ආදර කතාවක්........



2006_

ඕලෙවල් කරලා ඉවර වුනා විතරයි... හිතට දැනෙන්නේ පුදුම නිදහසක් ඒත් ඒ නිදහස අස්සේ වැඩි ඇතක් යන්නැතුව පුපුරන කාල බෝම්බයක් තියෙනවා කියලා දැනෙනකොට.... හ්ම්...... පපුව ඇතුලේ හාල්මැස්සෝ බාබකිව් දානවා වගේ...... යන්තන් මුල්ම මාසේ අතිජාතයෝ දෙන්නත් එක්ක ට්‍රිපක් එහෙම ගිහින් ඇගපත ටිකක් රිලැක්ස් කර ගත්තා.. මොකද එක්සෑම් කාලවලට වැඩියෙන් නින්ද යන ලෙඩේ මට ගොඩක් තදට තියෙන නිසා... දැන් ගෙදර... ඒත් වැඩි දවසක් යන්න කලින් එක ඇණයක් වෙන්න ගත්තා.. අර පන්තියෙනුයි අර කොස් එකෙනුයි එකයි මෙකයි කිය කිය ලිවුම් එවලා ගෙදර මිනිස්සු අවුස්සන්න ගත්තාම ගෙදර ඉන්න එක එපා වෙනවා.. කොහොම හරි මොකක්දො මන්දා එකක් කරකැවිලා මම කොලඹ ඉංග්‍රීසි කෝස් එකකට යන්න ඕනේ කියලා ගෙදරින් මට නියෝග ආවා.. අභියාචනා ඔක්කෝම පහල අධිකරණයෙදිම එළියට විසිවෙලා මට කොළඹ ක්ලාස් යන්න වුනා ඒත් පොඩි එකෙක් වුන මගේ ආරක්ෂාවට තාත්තාගේ පරණ ෆෝන් එක වැදගත් කියන මතේ මම තදින්ම හිටපු නිසා කොහොම හරි ඒක කරගත්තා... පන්ති තියෙන්නේ ඉරිදා, ඇතුලත්වීමේ විභාගයක් සෙනසුරාදා තියෙන නිසා සිකුරාදා කලින් කතා කරගත්ත නෑදෑ ගෙදරට ගියා.. පාන් කියාගන්න බැරුව ඒ ගෙදරට යද්දි අපේ මව්තුමීගේ සහෝදරිය ඒ කියන්නේ ලොකු අම්මා, පුත්‍රරත්නයත් එක්ක එහෙ ඇවිත් හිටියා.. නාලා කාලා නිදාගන්න ගිහින් සෑහෙන්න කාලෙකින් දැකපු බ්‍රදර් එක්ක චැටක් දාගෙන ඉන්න කොට කවුරු හරි මිස් කොල් වලින් බයිට් කරන්න පුංචි ආසාවක් ආවා... 

ම- අඩෝ නැද්ද බං නම්බර් එකක්?

බ්‍ර- ඒ මොකටද බං..

ම- මිස් කොල් එකක් ගහල නැගිටලද බලන්න බං..

බ්‍ර- ඉදපන් එහෙනම් බලන්න.... ආ මේක බලපන්... හැබැයි තෝ නිකමටවත් කතා කරලා මගේ නම කියන්න නම් එපා පුතෝ.. මේ අම්මාගේ ක්ලාස් එකට එන අම්මගේ යාලුවෙක්ගේ දුවෙක්ගේ.. අපේ වයසේ මගේ හොද ෆිට් එකක්.. උඹ මාව කන්නනම් එපා හොදද... ෆෝන් එක ගෙදර එක හොදට බැනුම් අහපන් පුලුවන්නම්...

ම- හරි හරි මචෝ... එල එල... බලමු නැගිටලද කියලා..

ඔන්න ඉතිං මිස් කොල් දෙකක් විතර ගැහුවා.. මෙන්න තව එකක් ගැහුවා විතරයි ආන්සර් කරා.. 

 


කෙ- හෙලෝ.......

මලා..... මොනවා කරන්නද මිස් කොල් ගහන්න ගිහින් 9ක්ම කපා ගත්ත එකේ කතා නොකරොත් හොද නෑනේ...

ම- ආ හෙලෝ... මොකද කරන්නේ, නිදි ද?

කෙ- මොකක්? කව්ද කතා කරනේ.. කාටද කතා කරන්න ඕනේ??

ම- මම මේ යාලුවෙක් කතා කරන්නේ..

කෙ- මට නම නොකියන යාලුවෝ නෑ..

දඩාස්...

කොච්චර සුන්දර කට හඩක් තියෙන කෙල්ලෙක් වුනත් සද්දෙට ෆෝන් එක තිබ්බාම මගේ හිතට එන්නේ “හා එහෙමද නංගි“ වගේ සිතුවිල්ලක්... ඉතිං එදා රෑ එළිවෙද්දි මිස්කෝල් 50 ක් විතර ඒ අංකෙට යවන්න මම දෙපාරක් හිතුවේ නෑ.. 

රෑ පුරා මිස්කෝල් මෙහෙයුමක් කරලා මරන්න ගෙනියන හරකා වගේ උදේ පාන්දර 10ට මම එක්සෑම් එකට ගියා.. පැය දෙකක විතර මොනවද මංදා කුරුටු ගාලා සල්ලි එහෙම ගෙවලා ආපහු ගෙදර එන්න පිටත් වුනා... 

බස් එකට නැගලා වාඩි වෙලා නින්දක් දාන්න හදද්දි ආඩම්බර මිස්කෝල් නෝනව ආපහු මතක් වුනා.. ඉතිං ආපහු ගත්තා.. මිස් කෝල් එකක් නෙවෙයි කෝල් එකක්... හ්ම්..... නෑ... ආන්සර් කරන්නෑ.. කමක් නෑ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කිව්වලුනේ... තව තුන් හතර පාරක් ගත්තා... අන්තිමේ ආන්සර් කරා...

කෙ- මොකද... කව්ද ඔය කතා කරන්නේ.. ඇයි මිස්කෝල ගහන්නේ....

කන ගාව මිරිස් බදිනවා වගේ... :D

ම- මේ මම කතා කරන්නේ අදුරගන්න බැරිද...

කෙ- අදුරගන්න පුලුවන්නම් කව්ද අහන්නෑනේ... 

ම- මම යාලුවෙක් කතා කරන්නේ..

කෙ- මම ඔයා අදුරන්නෑ, කොහෙන්ද ඔයාට නම්බර් එක... ආයි කතා කරන්න එපා මේ නම්බර් එකට... 

ම- හරි හරි ඉස්සරහට දැන අදුරගෙන යාලුකමක් හදාගනිමු... 

කෙ- විකාර....

දඩාස්...

අදත් ඊයේ වගේ දරුණු ප්‍රතිචාර... කමක් නෑ බලමුකෝ හෙට... තව මිස් කෝල් 10/12 ගහලා ෂීට් එකේ හරිබරි ගැහුනේ ගෙදරට එනකන් නින්දේ ඇරියස් කවර් කරන්න....


 _ _
 මේ ආරම්භය විතරයි.. හිත ඇතුලේ අකුරු වලට ගලපන්න බැරි, කියාගන්න බැරි මොකක්දෝ මන්දා අමුතු හිරියක් තිබුනත් ඒක ආදරයක් නෙවෙයි, වයසේ වැරැද්දට කොලු කමට මිස් කෝල් එකක් ගහලා ආඩම්බර කෙල්ලෙක් ටිකක් කෙන්ති ගැස්සුවා...  

ජීවිතේ ගොඩක් කල් අපිත් එක්ක පවතින බැදීම් ඇති වෙන්නෙ අහම්බෙන් අපි බලාපොරොත්තු වෙන්නැති වෙලාවට. සමහර ඒවා සංසාරගත බැදීම් වෙනවා, තවත් ඒවා සංසාරගත බැදීමකට මුල පුරන ඒවා වෙනවා. මේ මොක වුනත් ඒ දේ මුණගැහෙනකම් අපි දන්නෑ කොහොම කොහෙදි මුණගැහෙවිද කියලා.... 

5 comments:

  1. පොලෝසි යන වැඩක් වගේ කරගන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..... පොලෝසි .ව හොදයි..... :D

      Delete
  2. ah pa.. thoda ape nangita miss cal didi karadara karanne..hitapiya thoge ata .. galawanna hoyann awith

    ReplyDelete
    Replies
    1. හා අයියේ හොයන් එන්නකෝ... බුදුසරණයි ඈ.... :D :D

      Delete
  3. කොළු කාලේ කොලු කාළේ කවුද බන් ඒ කාලෙට ඕව නොකරන එවුන. සිතැගි නියමෙට කියලා තියනවා මඩා.

    ReplyDelete