Wednesday, September 11, 2013

කෙල්ලන්ගේ ගල් හිත් බිදින හැටි..... අත්දුටුවයි..!!

ජිවිතේ ගලාගෙන යන්නේ අපි කාටවත් වෙනස් කරන්න බැරි වේගයකින්, අලුත් රටකට අලුත් පරිසරේකට ඇවිත් අදට මාස 4ක් ගතවුනා.. අලුත් අත්දැකීම් එක්ක අලුත් ජිවිතයක්... කරත්ත රෝදයක් වගේ හැමදාම එකම විදියට ගෙවුන මාස 4ක්... පරණ මතක මතක් කර කර ජිවිතේ ගත කරන කාලයක් මේක.. හිතට ටිකක් හරි සැනසිල්ලක් දැනෙන්නේ එතකොට.... පරණ මතක අලුත් කරන කොට මතක් වුන සුන්දර පාසල් මතකයක් මේ...

_ _ _

මාඩා අවුරුදු 13ක්ම ගැටුවේ මිශ්‍ර පාසලකට, ඒ නිසා වැඩිය මහන්සි නොවී අපේ වත්තේ කජු අපිටම කන්න පුලුවන් කම තිබුනා. පන්තියකටම 20 ක් විතර ඉන්නවා කියන්නේ 5/2 ක්නේ... ඉතිං මේ කතාව වත්තේ කජු කන්න මහන්සි වුන අපේ එකෙක් ගැන, නම කියන්න ගියොත් වැඩේ අල වෙන නිසා අපි වික්‍රම කියලා කියමු ලේසියටත් එක්ක...

වික්‍රම පොඩි කාලේ ඉදන්ම මගේ යාලුවෙක්... මතක හැටියට මූ එක ඉදන් පහ වසර වෙනකන් මගේ පන්තියේ... ඊට පස්සේ අපි එක පන්තියකට වැටුනේ 10/11 තමයි... ඔන්න ඔය සාපෙ කාලෙදි මූට පන්තියේ හිටපු කජු කෑල්ලක් සෙට් කරගන්න ලොකු ඕන කමක් තිබුනා, ඒත් ඒ වෙද්දිත් මූට 8/9 පංති වල හීනියට කජු වගාවක් නොතිබුනාම නෙවෙයි... එත් කොහොම හරි මේ කොල්ල පංතියේ කෙල්ලෙක්ට ට්‍රයි කරා.. යාලුවෝ විදියට මායි පවනුයි (මේ බොක්ක ගැනත් කියන්න දේවල් තියෙනවා) පුලුවන් උපරිම හෙල්ප් එක කරා.. උගේ ලියුම් කීයක් අපි ගාව තිබුනද, ඌට කවි මතක නැති වුනාම කොච්චර පත්තර පිටු හෙව්වද, මූට වීරයා වෙන්න පුලුවන් විදියේ තිර රචනා කරලා දෙබස් හදලා දුන්නද, අපි වුනත් නාට්ටි කීයක රග පෑවද, කජු වතු මැනේජ් කරන්න කෙච්චර උපදෙස් දුන්නද... වැදගත්ම දේ උපන්දින, සංවත්සර වගේ පලදාව කඩන දවස් වලට මූට හම්බෙන චොකලට්, කේක් වගේ ගෙදර ගෙනියන්න අමාරු දේවල් අපි නෑ බෑ නොකිය අපේ බඩට දාගත්තද.. ඉතිං මේ වගේ උදව් කරන යාලුවෝ ඉන්නකොට පංතියෙම හිටපු කෑල්ල සෙට් නොවුන එක අපිටත් හිතට මොකක්ද වගේ... මොනවා උනත් සෙට් උනොත් තව පාටියක්නේ...  ඉතිං අපිත් මේ වැඩේ ගොඩ දාන්න පූර්ණ අධීක්ෂණයක් කරා.. පරණ ක්‍රම අතඇරලා අලුත් දෙයක අවශ්‍යතාව අපිට තේරුනා.... සරලව කිව්වොතින්...

ලේ දැක්කාම කෙල්ලන් තුල එදා ඉදන්ම ඇතිවන කම්පනය යොදාගෙන ඒ කම්පනයේ ප්‍රභලතාවයෙන් ගල් හිත උණු කිරීම....

පවන් අල්ලපු පන්තියේ හිටපු නිසා මට වැඩි අවස්ථාවක් ආවා ආදාල සැලසුමට නියමිත පරිසරය ගැන සැලකිල්ලෙන් ගතකරන්න.. ඔන්න ඉතිං දවස් දෙක තුනක් ගියා.. හ්ම්... තාම නෑ.. පුරුදු විදියමයි.. චූටි චූටි චිට් කෑලි වික්‍රම යවනවා ඒත් වෙනසක් නෑ... ඇලුමැරුණු විදියට තවත් දවස් දෙක තුනක් ගියා...

එත් එක දවසක්..... මම කොහෙ හරි ගිහින් පන්තියට ආවා.. අම්මා ගහයි බැට් එකෙන් තුන් පාරක් කිව්වලු වික්‍රම සිරාම මූඩ් එකක් හදා ගෙන  කාගෙද මන්දා වතුර බෝතලයකුත් ලග තියා ගෙන අක්මාවෙන්ම ටොක් කරනවා, කෙල්ලත් සද්ද නෑ..මම හිතන්නේ මූ සැහෙන්න වෙලා ගේම ගහලා වගේ ඒ තරමටම දාඩිය දාලා... මටත් අප්සට් අපේ එකෙක්නේ... ඔන්න ඒ වෙලාවෙම මගේ ටිංකිරි මොලේට මීටර් උනා මේක තමයි මෙච්චර දවසක් හෙව්ව රූප රාමුවට ගැලපෙන පරිසරය කියලා.. මම පන්තියේ හිටියෙ නැති නිසා කලින් කතා කරලා කරපු එකක් කියලා කෙල්ලට පෙන්නෙත් නෑ, අරූ හිතන්නෙත් නෑ මේ වෙලාවෙදි රගපෑමක් තියෙනවා කියලා.. ඉතිං රූප රාමු ටික තාත්විකව ෂූට් කරන්න පුලුවන් කියන එක ෂූ‍වර් එකටම හරි..

දැන් ඉතිං මගේ වාරේ.. දෙබස් ටික.... හ්ම්..... හරි මතකයි... ඊළගට ප්‍රධාන අවිය.. කෝ ඒක... මේ තියෙන්නේ බිත්ති පුවත් පත කියලා ගහපු බෝඩ් කෑල්ල විතරක් තියෙන රිජිෆෝම් එකේ... ගත්තා භාණ්ඩේ... පූංචි ඇල්පෙනෙත්තක්....  හරි දැන් මාඩා රෙඩි... යාලුවා වෙනුවෙන් ගෙමට එන්ටර් වෙන්න හදන්නේ.....

ඇක්ෂන්.......

(මාඩා වික්‍රම හා කජු ගෙඩිය සමීපයට යයි)

මඩා- මොකෝ බං වික්‍රම අවුලක්ද?

වික්‍රම- නෑ බං මාඩා.. අවුලක් නෑ...

මාඩා- මොකෝ බං එහෙනම් මුණ හතරැස් කරගෙන, ඇයි කජු ගෙඩිය කේස් ද තාම?? මොනවද කජු මූ හොද එකානේ බං.. ඔච්චර ගන්න උස්සන්නේ මොකද? 

කජු- ගනන් නෙවෙයි මාඩා ඒ වුනාට..............

මාඩා- ඇයි උඹට මූව ෂුවර් නැද්ද??

කජූ- හ්ම්................

මාඩා- හරි ඉදපන්... ඒ වික්‍රම කියපන් උඹ මේකිට ගොඩාක් ආදරේද??

වික්‍රම- ඔව් බොල, නැත්තන් මෙච්චර කියනවද?

මඩා- හරි එහෙනම් උඹ මේකි වෙනුවෙන් ඕන දුකක් විදිනවද?? 

වික්‍රම- ඕක අහන්නත් දෙයක්ද මාඩෝ... එත් කෝ මෙයා තාම නෑනේ.... හ්ම්...

මාඩා- හරි දියන් අත.... කජු බලා ගනින් මෙන්න මෙහෙමයි මූ උඹට ආදරේ කරන්නේ, උඹ වෙනුවෙන් මූ ඕන දුකක් විදින සිරා පපුවක් තියෙන සුපිරි කොල්ලෙක්.. උඹට ආයි හිතන්න දෙයක් නෑ මූ ගැන.. ඔන්න බලපන්...

වික්‍රම- ආව්.............................................................

(මාඩා විසින් වික්‍රමගේ මැදගිල්ල සිදුරු කරයි...)

නාට්‍ය පිටපත ඉවරයි... 

ඔන්න දැන් තමයි හොදම හරිය... ප්‍රේක්ෂක ප්‍රතිචාර...

වික්‍රමත් ගානට එක පාරක් ආව්............... ගාලා එලියට එන ලේ දිහා බලාගෙන හිටියා... කජු හොල්මන් වෙලා... වටේ පිටේ කෙල්ලෝ අනේ මාඩා මොනවද මේ කරේ කියලා කෑ ගහනවා, කොල්ලෝ ටික හිනා වෙවි බලං ඉන්නවා.. සමහරු ලේ ඉල්ලනවා උන්ගේ කෙල්ලොන්ට ලියුම් ලියන්න එක විකාරයයි එතන...

ඒත් තාම ඕනම කරන දේ වුනේ නෑ.. මාඩා බලං ඉන්නේ හිත උණු වෙන සීන් එක එනකන්.. ඉක්මණට ආවොත් හොදයි... මොකද තව ටිකකින් ලේ නවතින නිසා...

හරි හරි... වැඩේ හරි... කජු ගෙඩියෙන් කදුලු දෙකක් වැටුනා... දෙක තුන වුනා... අරූගේ ඇගිල්ල ඇදලා ගත්තා... (නෑ කටේ දාගත්තේ නෑ) කජුගේ ලේන්සුවෙන් ඇගිල්ල බැන්දා... ආව්........... රොමැ..................න්ටික් අවස්ථාව..... කට්ටිය මට බනින ඒවා ඇහෙන්නෙත් නෑ... ඒ තරම් ප්‍රේමණියයි.......... කදුලු වැටි වැටි කජු අරුගේ අත බදිනවා... අරුත් කජූගේ මූණ දිහාම බලන් ඉන්නවා....

සතියක් ඇතුලත වික්‍රමට කජූගේ වචනය හම්බුනා...




ප.ලි. සමහරවිට මේ සිද්දිය මෝඩ, බොළද වැඩක් කියලා පේන්න පුලුවන්.. ඔව් මෝඩ වැඩක් නම් තමයි.. ඒත් අපි එතකොට සපෙ කරන කාලේ.. කිසිම දෙයක බරපතලකමක් නෑ... ඒත් මතක් කරලා හිනා වෙන්නවත් පුලුවන් මතක ගොඩක් ඉතුරුවෙන්නේ අපි කරන මෝඩ වැඩ එක්කයි...